Gossips

කොදෙව් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයක

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයකට එක්වීමට සුදානම් වනවා.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජිම් සේති ප්‍රකාශකර ඇත්තේ අප්‍රේල් මස ආරම්භයේදී කොදෙව්වන් මෙම සංචාරයට එක්වන බවයි.
ඔවුන් 20 යි 20 තරග 3 කට සහභාගී වීමට නියමිත අතර ඒවා කරච්චිහිදීයි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.
2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව කරච්චි නුවරදී පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගය මෙය ලෙසට ඉතිහාසයට එක්වනු ඇති.
එම ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයට පැමිණෙන ජාත්‍යන්තර කණ්ඩායම් තරග වැදුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.
ඒ පවතින අවදානම් තත්වය හේතුවෙන්.
කෙසේවෙතත් 2015 වසරෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් පකිස්ථානයට තරග සංචාර සඳහා ක්‍රිකට් කණ්ඩායම් පැමිණෙමින් සිටිනවා.
සිම්බාබ්වේ කණ්ඩායම මෙන්ම ලෝක කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ද පකිස්ථානයේ තරග සංචාරවලට එක්වුනා.
එම සියලු තරග පැවැත්වුනේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීයි.
සිම්බාබ්වේ තරග සංචාරයේ තරග පැවැත්වීමට නියමිත කරච්චි නුවරදී පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා කියාසිටියේ කොදෙව් කණ්ඩායම සමග මෙම තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසුනු බවයි.
එහි අවසන් ප්‍රතිඵලය සතුටුදායක ලෙසට ලැබුනු බවයි ඔහු කියාසිටියේ.