Gossips

ජනපති ජපානයට

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන අද (12) ජපානය වෙත ළඟාවීමට නියමිතයි.
ජනාධිපතිවරයා හෙට ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර, අනිද්දා සමුළු සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
සාකච්ඡාවලින් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වනු ඇති.
නායකයන් දෙපළ ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අන්‍යනෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය අතර ණය ගිවිසුමක්ද අත්සන් කිරීමට සැළසුම් කර තිබෙනවා.
ජපන් විදේශ වෙළඳ සංවිධානය විසින් සංවිධාන කරනු ලබන ව්‍යාපාරික රැස්වීමකට එක්වන ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද මුණගැසීමට නියමිතයි.
ජනාධිපතිවරයා ජපානයට පැමිණීමට පෙර ඉන්දියාවේ දින 02 සංචාරයක නිරතවුණා.
ඒ, ඉන්දියාවේ සහ ප්‍රංශයේ සම සත්කාරකත්වයෙන් සංවිධාන වූ ජාත්‍යන්තර සූර්යබලශක්ති එකමුතුවේ සමාරම්භක සමුළුවට එක්වීම සඳහායි.
මෙම සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් ද හමුවුණා.