Gossips

ශ්‍රී ලංකාව ආන්තීය කාලගුණයේ ගොදුරක් – විද්‍යාඥයන් හෙළි කරයි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලටත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලටත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම කළුතර සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා වැඩිවීමෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
මේ අතර ශ්‍රී ලංකාව මේ වනවිට ආන්තීය කාලගුණයේ ගොදුරක් බවට පත්ව ඇති බව හෙළිවී තිබෙනවා.
සමතුලිත කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් වෙනස්වීම සැළකෙන්නේ ආන්තීය කාලගුණ තත්ත්වයක් ලෙසයි.
ජාත්‍යන්තර කාලගුණික පර්යේෂණ ආයතන මගින් ආන්තීය කාලගුණික ලක්ෂණ පෙන්වන රටවල් පිළිබඳව සිදුකළ අනාවරණවලට ශ්‍රී ලංකාවද ඇතුළත්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ පාරිසරික බලපෑම් සහ විවිධ හේතූන් මත සමතුලිතතාව බිඳී යාමත් සමග වැසි ඇතිවන විටදී අසිීමිත වැසි ලැබීමත් තවත් විටක නියඟයක් දක්වා වියලි කාලගුණය වර්ධනය වීමත් දක්නට ලැබෙන බවයි.