Gossips

ශ්‍රී ලංකා සහ ඉන්දීය ජනපතිවරුන් අතර හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ඨ‍්‍රපති භවන්හිදී මෙම හමුව පැවති බවයි.
සාමය සහ සංහිඳියාව ඇතිකරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාව ලැබී ඇතැයි ඉන්දීය ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශකර තිබෙනවා.
වසර තිහක යුදමය කාලසීමාවේ දී සහ ඉන්පසුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වලදීත් නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග හා සංස්කෘතික කටයුතු වලදිත් ලබාදුන් සහයට ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව ශක්තිමත් කිරීමටත් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටත් පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළා.
ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ විවිධ කලහකාරී තත්ත්වයන් ඇති කරමින් සංහිදියාව පළුදු කිරීමට කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවයි ඔහු සදහන් කළේ.
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර රට තුළ සාමය ස්ථාපිත කර ඇති බව ද ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ආරාධනය ද ඉන්දීය ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා.