Gossips

රට තුල සමාකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනපති විදෙස් තානාපතිවරුන් හමුවේ කියයි

රට තුල මේ වන විට සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා.
පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්‍රදේශවල පැවති කළහකාරී තත්වය සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි ජනාධිපතිවරයා විදෙස් තානාපතිවරුන් හමුවේ ප්‍රකාශකර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා අද විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබුනා.
එහිදී ජනාධිපතිවරයා කියාසිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පැවති කළහකාරී තත්වයන් නිර්මාණය කිරීමට මුල්වූ සහ ක්‍රියාත්මක වූ පිරිස් අත්අඩංගුවට ගෙන උපරිම දඩුවම්දීමට කටයුතු කරන ලෙසට තමා පොලිසිය ඇතුලු අදාළ අංශවලට උපදෙස් දී ඇති බවයි.
පසුගිය වසර ගණනාවක් පුරා ජගත් මානව හිමිකම් කොමිසමේ සැසිවාර පැවැත්වෙන මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී රටේ විවිධ කළහකාරී සිදුවීම් ඇති කිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම පසුගිය වසර 3 පුරා රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කළ අතර ඉදිරියේදී ද ඒ සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.