Politics Sri Lanka

ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක.

ගම්පහ රෝහල අනාරක්ෂිතයි – රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අනාරක්ෂිත බව පවසමින් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (09) පෙරවරුවේ විරෝධතාවයක නිරත වී තිබේ. රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් සඳහන් කළේ නිරන්තරයෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් හේතුවෙන් රෝහලේ විදුලි සෝපානය අක්‍රීය වී අනතුරු රැසක් පසුගිය කාලය තුළ සිදුවූ බවය. ‘ඊයේ (08) දිනයේ විදුලි සෝපනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථා කිහිපයදී වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් විදුලි සෝපානයේ සිරවූ බවය. මේ හේතුවෙන් රෝහල තුළ දී රෝගී ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙන තුරු ගම්පහ රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීමේ කටයුතුවලින් වැළකී සිටීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය තීරණය කර තිබේ.