Gossips

උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එකග වෙයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමග සාකච්ඡා කිරීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළකර තිබෙනවා.
ධවල මන්දිරයයි මේ බව නිවේදනය කර ඇත්තේ.
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හේතුවෙන් මතබේධාත්මක තත්වයක් මතුවී ඇති අවස්ථාවක අමරිකා ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මෙය අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.
මෙම සාකච්ඡාව ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි සඳහන්.
දකුණු කොරියා ජාතික ආරක්ෂක උපදේශකවරයා අමරිකා ජනපති වෙත සාකච්ඡාව සම්බන්ධයෙන් ඇරයුම යොමුකර ඇත්තේ ඔහුගේ නියෝජිතයෙකු පසුගියදා උතුරු කොරියාවේ සංචාරය කිරීමෙන් අනතුරුවයි.
අමරිකා ජනපති සමග සාකච්ඡාවේදී න්‍යෂ්ඨික සහ මිසයිල අත්හදා බැලීම් පිළිබඳ අවධානය යොමු කිරීමට උතුරු කොරියා ජනපති කැමැත්ත පළකර ඇති බවයි දකුණු කොරියා ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශකර ඇත්තේ.
මෙම යෝජනාවට ඩොනල්ඩ් ට්‍රම්ප් ද කැමැත්ත පළ කළ බව ධවල මන්දිරය නිවේදනය කළා.
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් අමරිකාව ඇතුලු රටවල් රැසක විවේචනයට ලක්ව ඇති අවස්ථාවක මෙම සාකච්ඡාවට එකගතාව පළවීම ද විශේෂත්වයක්.