Gossips

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් දැයෙන් සමුගනී

අපවත් වී වදාළ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.
සම්බුදු සසුනේ ප්‍රගමනය වෙනුවෙන් මහත් කැප කිරීමක් සිදුකළ දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වන විට 54 වන වියේ පසුවුණා.
පසුගිය 3 වනදා අපවත් වුණු උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ ශ්‍රී සම්බෝධි විහාරයෙන් අවමංගල්‍ය පෙරහර පිටත් වුණේ අද පස්වරු 1 යි 45 ට පමණයි.
එහිදී පෙරහරට එක්වූ සහ මග දෙපස රැස්වූ විශාල පිරිසක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.
නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රය වෙත වැඩම කළ දේහය එහි තැන්පත් කිරීමෙන් අනතුරුවයි ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු ආරම්භ වුණේ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සර්වාගමික පූජකවරුන් එම අවස්ථාවට එක්ව සිටියා.
එසේම, කතානායක කරූ ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඊට එක්වුණා.
එහිදී මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් අවමංගල්‍යය සභාව අමතමින් අනුශාසනාවක්ද සිදුකළා.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළා.
මෙහිදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩ ද ඉදිරිපත් කරනු ලැබුවා. පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනි දල්වනු ලැබුවේ ඉන් අනතුරුවයි.