Gossips

අද පස්වරු 4 සිට මහනුවරට ඇඳිරි නීතිය

හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා විසින් මෙලෙස මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බවයි.
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සියලු රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර සෙසු සියලුදෙනා මෙම කාලසීමාව තුල මහා මාර්ගවල, දුම්රිය මාර්ගවල, උද්‍යානවල, විනෝදාස්වාද පිටියක හෝ වෙනත් කිසියම් හෝ පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම තහනම් වනු ඇති.
එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසිදු පුද්ගලයෙකුට හදිසි අවශ්‍යතාවක් මතුවන්නේ නම් අදාළ අවශ්‍යතාව සඳහන් කර කුමන හෝ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බවයි පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ.
ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සියලූ පොලිස් නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.