Gossips

හදිසි තත්ත්වය අතරතුර ජගත් සංවිධාන ප්‍රධානියෙක් දිවයින එයි

ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් විශේෂ සංචාරයක් සඳහා අනිද්දා මෙරටට පැමිණීමට නියමිතයි.
මෙම සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ.
රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම්වරයා මෙම සංචාරය සිදුකරන බව ජගත් සංවිධාන මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ඊයේ (06) පැවති දෛනික මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
ඒ අනුව, අනිද්දා දිවයිනට පැමිණෙන ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ලබන 11 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇති.
මේ අතර, දිවයිනට පැමිණ සිටින පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු ඊයේ (06) මුහමලේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
එහිදී ඔහු එම ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ කරුණු සොයා බැලූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පුද්ගලනාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථක සිදුකෙරෙන බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් අල් හුසේන් කුමරු අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මුණ ගැසීමට නියමිතයි.