Gossips

සමුද්‍රීය පරිසර සභාව රැස්වේ

සමුද්‍රීය පරිසර සභාව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පළමුවරට රැස්වුණා.
සමුද්‍රීය පරිසරය සුරැකීමේ නව මානයන් සම්බන්ධව උපදෙස් දීම සඳහා සමාජයේ සියලුම ක්‍ෂේත්‍රවල උගතුන් සහ ක්‍රියාකාරීන් නියෝජනය වන පරිදි සමුද්‍රීය පරිසර සභාව පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට එහි බලතල, කාර්යයන් සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම හා ඉටුකිරීම පිළිබඳ අදාළ කාරණා සම්බන්ධයෙන් උපදෙස් දීම සහ අධිකාරිය විසින් සභාව වෙත යොමුකරනු ලබන කරුණු පිළිබඳව උපදෙස් ලබාදීම සමුද්‍රීය පරිසර සභාවේ කර්තව්‍යයි.
එක්සත් ජාතීන්ගේ පිරිසිදු සයුර වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේදී බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් ඉලක්ක කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බවද සමුද්‍රීය පරිසර සභාවේදී ඊයේ අනාවරණ වී තිබෙනවා.
ඊට අදාළව පැවරී ඇති වගකීම් ඉටුකිරීම සඳහා සමුද්‍රීය පරිසර සභාවේ දායකත්වය අපේක්ෂා කෙරෙන අතර, මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වාර්ෂික සැලැස්මක් ඔස්සේ සභාවේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවයි.
මේ අතර කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අවසන් ගෞරව දැක්වූවා.
එහිදී ආදාහන කමිටුව සමග සාකච්ඡාවකට එක්වෙමින් අදාහන පුජෝත්සවයේ කටයුතු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.