Gossips

ඉරණවිල දරුවා ඝාතකයා හලාවතට

හලාවත – ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත අද භාරදීමට නියමිතයි.
මුලතිව් පොලීසිය භාරයේ සිටින සැකකරු මෙම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්ද සිදුකර තිබෙනවා.
මුලතිව් – නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී ඊයේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.
පසුගිය 27 වනදා හලාවත – ඉරණවිල – මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ සුසිත් නිර්මාල් නැමති මෙම දරුවාගේ සිරුර සොයා ගත්තා.
දෙමාපියන් විසින් දරුවා නොමැති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය 25 වනදායි.
කිසියම් පුද්ගලයෙකු දරුවා රැගෙන යන අයුරු නගරයේ වෙළදසැලක තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබුණා.
එහිදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ අතර, ඔහු කුලියට පොල් කැඞීම සඳහා ඉරණවිල ප්‍රදේශයට පැමිණ ඇති බවටයි පොලිසිය සදහන් කළේ.
ගිරවෙකු අල්ලා දෙන බව පවසා දරුවා රක්ෂිතයට රැගෙන ගොස් අපයෝජනයට ලක් කොට පසුව ඝාතනය කළ බවට සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණයක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට ගත් බවට සැලවීමත් සමඟ ඉරණවිල ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසුරුණු බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.