සෑම අණ්ඩුවක්ම අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව අධ්‍යාපනයට වෙන් කරනු ලබන්නේ රටේ ජීවනාලිය බදු සිසු දරු දැරියන්ට පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින්.
කෙසේවුවද, බළධාරීන්ගේ අදුරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් තිබු පහසුකම් පවා අහිමි වු සිසු දරුවන් පිරිසක් පිළිබඳ අපට පිළියන්දල – දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
1906 වසරේ ආරම්භ කෙරුණු පිලියන්දල – දැල්තර කණිෂ්ඨ විද්‍යාලය පාලනය වන්නේ බස්නාහිර පළාත් සභාව යටතේයි.
දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම විද්‍යාලයේ මේවනවිට 1 ශ්‍රේණියේ සිට අපොස සාමාන්‍ය පෙල දක්වා සිසුන් අධ්‍යාපනය ලබනවා.
වසරින් වසර ළමුන් අතුලත් වීමේ ප්‍රමාණයද ඉහළ යමින් තිබෙන මෙම විද්‍යාලයට තිබු ප්‍රධානතම ගැටලුවක් වුයේ ගොඩනැගිලි ප්‍රමාණවත් නොවීමයි.
තත්ත්වය මෙසේ තිබියදී විද්‍යාලයට අයත්ව තිබු මෙම දෙමහල් ගොඩනැගිල්ලද බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව පවරා ගනු ලබන්නේ විද්‍යාලයේ ඉඩ ප්‍රශ්නය දෙගුණ තෙගුණ කරමින්.
ඒ දැව සහ සම් නිෂ්පාදන පුහුණු පාසලක් පවත්වාගෙන යාමටයි.
මේ හේතුවෙන් පාසැලේ සිසු දරුවන්ට අනාරක්ෂිත තාවකාලික මඩු වල සිය අධ්‍යාපන කටයුතු කිරීමට සිදුව තිබෙනවා.
අප මෙම ගැටලුව පිළිබඳව විමසීමට බස්නාහිර පළාත් කර්මාන්ත අධ්‍යක්ෂකතුමිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වුයේ නැහැ.
අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් වැඩිකිරීමට රජය ප්‍රතිපත්ති සැලසුම් කරද්දිල මෙහි සිදුව ඇත්තේ පහසුකම් සහිතව අධ්‍යාපනය ලැබු දරුවන් පිරිසකට එම පහසුකම් අහිමි කිරීම නොවේද ?
අටුව කඩා පුටුව හදන ආකාරයේ මෙවැනි තීන්දු තීරණ ගැනීම තුලින් අවසානයේ සිදු වන්නේ අධ්‍යාපනය ලබා දීමෙන් බලාපොරොත්තු වන අරමුණු ඉටු කරගැනීම මිරිඟුවක් බවට පත්විමයි.