Gossips

ශකීබ් අල් හසන්ට නිදහස් කුසලාන තරගාවලියත් අහිමි වෙයි

නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වයට මහමුදුල්ලා පත්කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සංචිතයට නම්කර නැහැ.
ඔහුගේ ඇගිල්ලේ ආබාධය මෙතෙක් සුව නොවීම ඊට හේතුවයි.
ශකීබ් අල් හසන් වෙනුවෙන් ලිටන් ඩාස් සංචිතයට කැඳවා තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේ පැවති තුන්කොන් තරගාවලියේදී ශකීබ් අල් හසන්ගේ වම් අතේ සුළැගිල්ලේ ආබාධයක් සිදුවුනා.
ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලියට එක්වීමට ද හැකියාවක් ලැබුනේ නැහැ.
එමෙන්ම පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය ද ආබාධ තත්වය හේතුවෙන් ඔහුට අහිමි වුනා.
ඇගිල්ලේ ආබාධය සුව වීමට අපේක්ෂා කළාට වඩා කාලයක් ගතවනු ඇති බවයි වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.
ශකීබ් අල් හසන් වෙනුවෙන් සංචිතයට කැඳවා ඇති ලිටන් ඩාස් ද පළමු පෙළ තරගවලදී කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙක් ලෙසට සැලකෙනවා.
ඉනිම් 4 කින් ලකුණු 386 ක් ඔහු ලබාගෙන ඇත්තේ ශතක දෙකක් ද සමගින්.
පසුගිය වසරේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ද ඔහු ලකුණු 261 ක් ලබාගත්තා.
එමෙන්ම ඔහු බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ තුන්වන කඩුලු රකින ක්‍රීඩකයා ලෙසටයි සැලකෙන්නේ.
මුශ්ෆිකර් රහීම් සහ නුරුල් හසන් කණ්ඩායමේ අනෙක් කඩුලු රකින්නන් දෙදෙනායි.
ලබන 6 වනදා ආරම්භ වන නිදහස් කුසලාන තරගාවලියට නම් කළ බංග්ලාදේශ සංචිතයට තමින් ඉක්බාල්, සෞම්ය සර්කාර්, ඉම්රුල් කයිස්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රහ්මන්, මුස්ටෆිසුර් රහ්මාන්, රුබල් හුසේන්, තක්ෂින් අහමඩ්, අබු හයිඩර්, අබු ජායිඩ්, අරිෆුල් හේක්, නස්මුල් ඉස්ලාම් සහ මෙහෙදි හසන් ඇතුලත්.
ඉන්දියාව ද සහභාගී වෙන මෙම තුන්කොන් තරගාවලියේ පළමු තරගය 6 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.