Gossips

විශ්වාසභංගය ගැන ස්වාධීන තීරණයකට – ඒකාබද්ධය ලබන සතියේ රැස්වෙයි

අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව ස්වාධීන තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ලබන සතියේ රැස්වීමට නියමිතයි.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී වෙනත් පක්ෂයක් ගෙන එනු ලබන විශ්වසභංග යෝජනාවකට සහය පළ කිරීමක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අප කළ විමසීමකදී කියා සිටියේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳව මේ දිනවල දේශපාලන කරළියේ පවතින්නේ උණුසුම් කථාබහක්.
එක්සත් ජාතික පක්ෂයේම තරුණ මැති ඇමතිවරුන් පිරිසක් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම මෙම තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට හේතුවී තිබෙනවා.
පසුගිය සතියේ සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුවයි එම අදහස් දැක්වීම ආරම්භ වූයේ.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇමති මණ්ඩල සංශෝධනය සිදුකළ දිනයේම එය දැඩි ලෙස විවේචනය කරමින් මුලින්ම අදහස් පළ කළා.
පසුව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂ නායකත්වයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශ කළා.
එම ප්‍රකාශය පාදක කරගනිමින් ඒකාබද්ධ විපක්ෂයද පසුව ඊට සහයෝගය පළ කරන බව සඳහන් කළ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ ඉදිරි මධ්‍යම කාරක සභාවක් මගින් අවසන් තීන්දුව ගනු ඇති බවයි.
මේ අතර සෑහීමකට පත්විය හැකි කොන්දේසි මත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම පිළිබඳව සළකා බලන බවයි ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ ප්‍රකාශ කළේ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ එවැන්නක් ඉදිරිපත්වීමෙන් පසුව තීන්දුවකට එළඹෙණ බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන කණ්ඩායම් පසුගිය සතිය තුළද රහස් සාකච්ඡා කිහිපයක් පැවැත්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
සති අන්ත ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන්නේ පසුගිය සතිය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශ්වාසභංග යෝජනාවට අදාළව දුරකථනය ඔස්සේ අදහස් හුවමාරුවීම්ද සිදුව ඇති බවයි.