Politics Sri Lanka

ඩේසි ආච්චිටත් රට යන්න අවසර

ඩේසි ආච්චිටත් රට යන්න අවසර

රත්මලාන කෙකටිය පෙදෙසේ පිහිටි මිලියන 36ක් වටිනා ඉඩමක් මිලට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවේ පළමු වැනි සාකකාරිය වන යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය වන ඩෙිසි ෆොරස්ට් මහත්මියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අධිකරණයෙන් විදේශගතවීමට තහනම් කර ඇති නියෝගය දින කීපයකට අත්හිටුවීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (02) නියම කර තිබේ.

ඒ අනුව අද( 03) සිට මාර්තු මස 24 වැනි දින තෙක් විදේශගතවීමේ තහනම් නියෝග අත්හිටුවීමට නියෝග කර ඇත.

තවද එම නියෝගය ආගමන විගමන පාලක වෙත දන්වා යැවීමට නියම කළ අතර සැකකාරියට නියම කර ඇති ඇප මුදලට අතිරේකව රුපියල් ලක්ෂ 10ක වටිනා ශරීර ඇපයක් නියම කළේය.

සිද්ධියට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක වීරසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් සැකකාරියගේ ඉල්ලීම අනුව නීතිපති උපදෙස් ලබා ගත් බවත් ඒ අනුව සුදුසු තීරණයක් ගැනීමට අධිකරණයට හැකි බවත් කියා සිටියේය.

සැකකාරියට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බැංකොක් යෑමට හැකි වන සේ අධිකරණයෙන් පනවා ඇති විදේශගතවීමේ තහනම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමසූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා තිබිණි.