Gossips

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව අනිද්දා (23) පස්වරුවේ කැඳවීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් පරිදි ස්ථාවර නියෝගවලට අනුව කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට ඒ අනුව කටයුතු කර ඇති බවයි.
ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිතයි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අද උදෑසන සිදුවූ පිපිරීම් හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටින බවයි.
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත්, ප්‍රහාර සඳහා වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන යා යුතු බවත් ට්විටර් පණිවුඩය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.
එමෙන්ම පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම පවතින තත්ත්වයත් සමඟ බස් රථ සහ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව අයිතිය තහවුරු කළ හැකි පාර්සල් පමණක් ප්‍රවාහනය කිරීමටයි මගීන්ට අවසර ලැබෙන්නේ.
පවතින ආරක්ෂක තත්ත්වය මත අයිතිය තහවුරු කරගත් පාර්සල් පමණක් ප්‍රවාහනයට කටයුතු කරන ලෙස රියදුරන්ට සහ රිය සහයකයින්ට බලධාරීන් දැනුම් දෙනවා.