Gossips

ආණ්ඩුකාර කතා බොරු – හෙටින් අවසන් වන බස්නාහිර මහ ඇමතිගෙන් ප්‍රකාශයක්

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
පළාත් සභා 7 ක නිල කාලය මේ වනවිටත් අවසන් වී ඇති අතර, ඒ සියලූම පළාත් සභා මේ වනවිට ඒ ඒ ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වනවා.
සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී, අවසන් වූ අතර, එම පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතට පත්වී මේ වනවිට වසරකුත් මාස 7 ක් ගතවනවා.
මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල නිල කාලය අවසන් වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.
එම පළාත් සභා මේ වනවිට මාස 7 ක කාලයක් ආණ්ඩුකාරවරුන් යටතේ පවතිනවා.
දකුණු පළාත් සභාවේ නිල කාලය ද පසුගිය 10 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ ඌව පළාත් සභාව පමණක් වන අතර එහි නිල කාලය ද ඔක්තෝම්බර් 8 වනදායින් අවසන් වීමට නියමිතයි.
කෙසේ වෙතත්, නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඡුන්ද විමසීමක් පැවැත්වීමට හෝ ඒ සඳහා දිනයක් දැනුම් දීමට ආණ්ඩුවට මෙතෙක් හැකිවී නැහැ.
පසුගිය කාලයේදී බස්නාහිර පළාත් සභාව පුවත් මැවූ සභාවක් බවට පත් වුණේ එකක් රුපියල් ලක්ෂ 6 ට වැඩි වටිනාකමකින් යුත් පුටු මිලදී ගැනීම, රුපියල් කෝටියකට අධික දොරක් සභාවේ සවි කිරීම සහ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පරිගණක මගින් කිහිපදෙනෙකු අසභ්‍ය දර්ශන නැරඹීම හේතුවෙන්.
මේ අතර, බස්නාහිර පළාත්, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට ආණ්ඩුකාර ධුරයක් හිමිවන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් පාදුක්ක – වග ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
ඔහු කියා සිටියේ තමන් ආණ්ඩුකාර ධුරයක් සම්බන්ධයෙන් කිසිදු ස්ථානයක ප්‍රකාශ කර නොමැති බවයි.