Gossips

හක්කපටස් නිසා තවත් වන අලියෙකුට දිවි අහිමි වෙයි

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් තුවාල ලබා රෝගීවී සිටි වන අලියෙකු මියගොස් තිබෙනවා.
කැකිරාව නිකිණියාව ප්‍රදේශයේ වගා බිමක සිටි මෙම වන අලියා සති ගණනක් පුරා ආහාර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මරණයට පත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ගල්කිරියාගම වනජීවී නිලධාරීන් විසින් අලියාගේ සිරුර සොයාගෙන තිබුනා.
මියගොස් ඇත්තේ කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ සැරිසැරූ වයස අවුරුදු 12ක් පමණ වන වන අලියෙක්.
සති කිහිපයකට පෙර හක්කපටස් ආහාරයට ගැනීමෙන් මෙම වන අලියාගේ මුඛයට බරපතල තුවාල සිදුව තිබෙනවා.
ඉන් අනතුරුව අලියා පහසුවෙන් ආහාරයට ගත හැකි ආහාර සොයා ප්‍රදේශයේ වගාබිම් වෙත ද පැමිණ තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලබා සිටි සත්වයාට අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර ලබාදීමට පශු වෛද්‍යවරුන් පියවර ගෙන තිබුනා.
කෙසේවෙතත් පසුව එම අලියා මරණයට පත්වී ඇති අතර එම සත්වයාගේ සිරුරේ වෙඩි වැදීම් සලකුණු රැසක් ද දක්නට ලැබෙන බව සඳහන්.