Gossips

දේවහූව ද්විත්ව ඝාතනයට මිය ගිය කාන්තාවගේ බාල සොහොයුරාත් අත්අඩංගුවට

ගලේවෙල – දේවහූව කීඇල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ඝාතනයට ලක් වු කාන්තාවගේ බාල සහෝදරයා බවයි.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඊයේ පෙරවරුවේයි.
ඔහුගෙන් සිදු කරන ප්‍රශ්න කිරිම්වලින් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වු කාන්තාවගේ බාල සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.
එහිදී සැකකරු සතුව තිබී ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදා ගත් ගිනි අවියක් සහ තියුණු ආයුධයක් ද සොයා ගැනුනා.
එහිදී අනාවරණ වූයේ ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ප්‍රධාන සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකරමින් ප්‍රකාශ කර ඇත්තේ සිය සහෝදරිය සහ ඇගේ සැමියා ඝාතනය කිරීමෙන් පසු ගිනි අවිය සහ තියුණු ආයුධය ප්‍රදේශයේ ඇළකට දමා කොළඹ සැඟව සිටි බවයි.
දෙමව්පියන්ගෙන් හිමි ඉඩම් බෙදා ගැනීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පවුලේ සහෝදර සහෝදරියන් 5 දෙනා දෙපිළකට බෙදී ජීවත් වූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් 60 හැවිරිදි ප්‍රධාන සැකකරු පෞද්ගලික ආයතනයක ආරක්ෂක නියාමකවරයෙකු ලෙස සේවය කර ඇති අතර, 53 හැවිරිදි අනෙක් සැකකරු රජයේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කරන බව පොලීසිය සදහන් කළා.
ඉතා රහසිගත ලෙස සිදුකර තිබූ මෙම ඝාතනයේ සැකකරුවන් සම්බන්ධයෙන් එහිදී අනාවරණ කර ගැනීමට සාක්ෂි කිසිවක් ඉතිරි වී තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ඝාතනය සිදුවූ ස්ථානයට මදක් දුරින් වැටී තිබූ ගිනි පෙට්ටියක් ආධාරයෙන් මෙම සිද්ධියේ සැකකරුවන් අනාවරණ කර ගැනීමට හැකි වූ බවයි පොලීසිය සදහන් කළේ.
මෙම ඝාතන කුමන්ත්‍රණ සැලසුම සඳහා සැකකරුවන්ගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකු සිටින අතර, ඔවුන් මෙම සිද්ධියට අනුබල දීම සහ සැලසුම් කිරීම යන චෝදනා යටතේ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.
ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ ඝාතනයට ලක්වූ කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරනු ලබනවා.
කෘෂි නිෂ්පාදන වෙනුවෙන් මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානයද හිමිකරගත් 51 හැවිරිදි අනුලා සුරවීර සහ ඇයගේ සැමියා වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙකු වන 53 හැවිරිදි ගාමිණී සුරවීර මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය 15 වන දායි.