Gossips

චීනයේ නව සේද මාර්ගයට උතුරු කොරියාවටත් ඇරයුම්

ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය යා කරමින් සාගරය, දුම්රිය සහ මහා මාර්ග ඔස්සේ චීනය ඉදිකරන "එක් තීරුවක් – එක් මාවතක්" නව සේද මාර්ග ව්‍යාපෘතිය සඳහා එක්වීමට උතුරු කොරියාවටද ඇරයුම් කර තිබෙනවා.
ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයක් පමණ වැයවන ව්‍යාපෘතිය පිළිබඳ ඇගයීම් සමුළුවක් ලබන 25 වනදා සිට 27 වනදා දක්වා බීජිං නුවරදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා සහභාගිවන රටවල් 37 ට උතුරු කොරියාව ද ඇතුළත් වන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන් – යී අද ප්‍රකාශ කළා.
චීනයේ නව සේද මාර්ගයට ජී හත කණ්ඩායමට අයත් ඉතාලියද පසුගියදා එක්වූ අතර, ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් එම ව්‍යාපෘතිය දකින්නේ සැකසහිත ඇසකින්.
එය චීනයේ ණය උගුලක් බවට ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන උදාහරණයක් වන්නේ ඩොලර් බිලියන 1.4ක හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් 99 අවුරුද්දකට චීනය වෙත පැවරීමයි.