Gossips

CID භාරයට ගත් පියල් පුෂ්පකුමාර මුදා හැරේ

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැරුණා.
මෙලෙස මුදා හැරුණේ 50 හැවිරිදි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමැති දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සමඟ ඊයේ පිටුවහල් කළ 22 හැවිරිදි මොහොමඞ් අෆ්රිඞී නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් පසුව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සැකකරු අත්අඩංගුවේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ බිරිඳගේ සහෝදරියගේ පුත්‍රයා බවටයි හෙළි වී ඇත්තේ.
ඔහුට එරෙහිව මත්කුඩු ජාවාරමට සහයෝගය ලබාදීම ඇතුළු තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව සඳහන්.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 23 දෙනෙක් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අතරින් 6 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ. එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පතාල නායක කංජිපානි ඉම්රාන් මාස තුනක කාලයක් රඳවා ප්‍රශ්න කරනු ලබනවා.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එදිනට සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර, තමන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා මාකඳුරේ මධුෂ් එරට අධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 2 වන දා දක්වා කල් දමා තිබෙනවා.