Gossips

කෝටි 6ක හෙරොයින් සමඟ ජීවන් මල්ලි අත්අඩංගුවට

රුපියල් කෝටි 6ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
කිරිබත්ගොඩ – මාකොළ – ගලේපන්සල ඉදිරිපිට දී මෙලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා හෙවත් ‘ජීවන් මල්ලි’ නැමැත්තායි.
මොහු යතුරුපැදියකින් හෙරොයින් තොගයක් රැගෙන එන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව අදාළ ස්ථානයේ රැදී සිටි එම බලකායේ නිලධාරීන් මත්කුඩු රැගෙන පැමිණි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් පැකට් 4ක් ද සමඟින්.
මෙම මත්කුඩු දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුගේ බවට හෙළි වී ඇති අතර, ඔහු දුරකථනය ඔස්සේ දුන් තොරතුරකට අනුව තවත් පුද්ගලයෙකු වෙත මෙම මත්කුඩු භාරදීමට යාමේදියි පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබුවේ.
28 හැවිරිදි සැකකරු කිරිබත්ගොඩ රෝහල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මේ දිනවල කිරිබත්ගොඩ – ගැමුණු මාවත ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ රැදී සිට තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ නිවස ද පරීක්ෂාවට ලක් කළ නමුත්, එහි තිබී කිසිවක් හමුවී නැහැ.
මෙලෙස බෙදා හරින මත්කුඩුවලට අදාළ මුදල් ඊසි කෑෂ් ක්‍රමයට ඔහුගේ දුරකථනයට ලැබී ඇති බවයි මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මොහු බන්ධනාගාරයේ සිටින සැකකරුට අවශ්‍ය මත්කුඩු පැකට් කර ලබාදී ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.