Politics Sri Lanka

ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන්කළ පොලිස් ලොක්කෝ යළි රක්ෂිත බන්ධනාගාරයට

ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන්කළ පොලිස් ලොක්කෝ යළි රක්ෂිත බන්ධනාගාරයට

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යන මහත්වරු ලබන 15 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.

සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධික රෝගී තත්ත්වයෙන් පසුවන බව කී නීතීඥවරු එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

සැකකරු එතරම් අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන්නේයැයි සනාථ නොවන බවත් විමර්ශන තවමත් අවසන් නැති බැවින් සැකකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහත්වරුන් කරුණු දක්වමින් කියා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

2009 ජනවාරි අට වැනි දා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණු අතර ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය මුලින්ම විමර්ශන සිදු කළේය. එලෙස විමර්ශන සිදු කරද්දී පොලිස් බල අපරාධ තොරතුරු පොතේ පිටු සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත උපපොලිස් පරීක්ෂක සුගතපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි. උපපොලිස් පරීක්ෂකගෙන් එම සටහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලබා ගනිද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා එය දැක ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

මෙම විමර්ශනය අතරමඟ නැවතුණු අතර ඉන් පසු 2009 වසර අගදී විමර්ශන රහස් පොලිසියට පැවරිණි. යළි 2010 ජනවාරි මාසයේ දී විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකයට පැවරුණු අතර එම අංශය මගින් ට්‍රිපෝලි යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කොහුවල යුද හමුදා කඳවුරේ 17 දෙනකුද අත්අඩංගුවට ගෙන දින කිහිපයක් රඳවා තබාගෙන පොලිස් ඇප මත මුදා හැර තිබිණි.

යළිත් මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණේ 2015 වසරේදීය.