Gossips

නදීමාල්ගෙන් යළිත් රහස් පොලීසිය ප්‍රශ්න කරයි – මධුෂ්ගේ අභියාචනය මැයි 2ට කල් යයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මුදාහැරුණු ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
පැයකට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළ නඩුව පසුගියදා කැදවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මාකඳුරේ මධුෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි.
ඒ පිළිබදව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නදීමාල් පෙරේරාගෙන් ප්‍රශ්න කළ බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මේ අතර, ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එදිනට සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඊයේ පැමිණි දයාන් බුද්ධිම පෙරේරා, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රදවාගෙන් ප්‍රශ්න කරන අතර මධුෂ්ගේ බාප්පා වන හේවගේ රූපදාස සහ අනෙක් තුන් දෙනා ප්‍රශ්න කිරීම්වලින් පසු අද මුදා හැරුණා.
එමෙන්ම, පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පියල් පුෂ්පකුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමති පුද්ගලයන් දෙදෙනා අද අලූයම මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තා.
මොහොමඩ් අෆ්රිඩි නැමැත්තා දැනට රදවාගෙන ප්‍රශ්න කරනු ලබන කංජිපානි ඉම්රාන්ගේ බිරිදගේ වැඩිමහල් සහෝදරියගේ පුතු වනවා.
මේ අතර, තමන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා මාකදුරේ මධුෂ් එරට අධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ තීන්දුව ලබාදීම මැයි 2 වන දා දක්වා කල් දමා තිබෙනවා.