Gossips

මහියංගන අනතුරෙන් මිය ගිය 10 දෙනා මිහිදන් කෙරේ

මහියංගනය ජාතික පාසල ඉදිරිපිට දී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් 3කට අයත් පුද්ගලයින් දස දෙනාගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.
ඒ, මඩකලපුව – කල්ලියන්කාඩු කතෝලික පොදු සුසාන භූමියේදී සහ කන්නාමුනෙයි සුසාන භූමියේදීයි. ඔවුන්ගේ දේහ අද අලූයම මඩකලපුවේ පිහිටි නිවෙස් වෙත රැගෙන ආවා.
මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම පිරිස නුවරඑළියේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙමින් සිටියදියි ඊයේ අලූයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ.
සිද්ධියෙන් ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.
එසේම ප්‍රින්ස් හෙඩි‍්‍රක් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මිය ගියා.
මීට අමතරව, ඔහුගේ තවත් දියණියක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජෝෂප් රැලින්ටන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් ගත් 15 හැවිරිදි සහ 13 හැවිරිදි දරුවන් දෙදෙනා තවදුරටත් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔවුන්ගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවයි රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
බස් රථයේ ගමන් කළ හය දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු ඊයේ ඇප මත මුදා හැරීමට අධිකරණය කටයුතු කළ අතර, බස් රථයේ මගී ප්‍රවාහන අවසර පත්‍රය මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.