Gossips

දුම්රිය වෘත්තිය සමිති මුදල් අමාත්‍යාංශයට-ලොතරැයි අලෙවි නියෝජිතයන්ගෙන් රතු එළියක්

දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා.
මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද එක්ව සිටින බවයි වාර්තාවන්නේ.
දුම්රිය වෘත්තිය සමිති අඛණ්ඩව ඉදිරිපත් කළ වැටුප් විෂමතාව ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
දුම්රිය රියදුරන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, අධීක්ෂණ කළමනාකරු යන ශ්‍රේණි 5 ට අයත් වෘත්තිය සමිති 11 ක් මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා.
මින් පෙර අවස්ථා දෙකකදී වර්ජනවලට එළඹීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණද ඒවා අත්හැර දැමුණේ මේ වනවිටත් අනුමත වී ඇති කැබිනට් පත්‍රිකාවකට අනුව වැටුප් ගැටළුවට විසඳුම් ලබාදෙන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මතයි.
මේ අතර පොරොන්දු වූ සත පණහේ කොමිස් වැඩිවීම ලබා නොදීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් වනවා.
ඔවුන් පවසන්නේ මේ වනවිට ලොතරැයි පතක් සඳහා ලබාදෙන රුපියල් තුනයි පණහේ කොමිස් මුදල තවත් ශත 50 කින් වැඩි කරගැනීම තම අරමුණ බවයි.
එම ශත පණහේ කොමිස් මුදල ලබාදෙන බවට අවස්ථා ගණනාවකදී පොරොන්දු වුවද එය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ කියා සිටියේ.