Gossips

දින 12 කදී අධිවේගයේ ආදායම මිලියන 320 ක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු කාලසීමාව තුළදී අධිවේගී මාර්ගවල ආදායම සියයට 8 ක වර්ධනයක් පෙන්නුම් කරන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා.
පසුගිය 5 වනදා සිට 16 වනදා දක්වා දින 12 ක කාලසීමාව තුළ අධිවේගී මාර්ගයේ රථ වාහන ලක්ෂ 12 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කර තිබෙනවා.
එහි ආදායම රුපියල් මිලියන 320 ක් බවයි ඔහු කියා සිටියේ.
වැඩිම රථවාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය භාවිතා කළ දිනය ලෙස පසුගිය 11 වනදා වාර්තාවූ අතර, එම සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසක්.
එමෙන්ම, පසුගිය 15 වනදා වාහන 9500 ක් ධාවනය වූ අතර මේ හේතුවෙන් ගොඩගම පිවිසුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තා.
එම දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 20 ක් ලෙස වාර්තාවුණා. ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී අධිවේගී මාර්ගවල රථ වාහන භාවිතයේ සියයට 10 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ.
මේ අතර, මෙවර අලූත් අවුරුදු සමයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි ඒ.ඞී.ජී. සෙනෙවිරත්න කියා සිටියේ ඊයේ දිනයේදී මාතර දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් ලක්ෂ හතරක් පමණ වූ බවයි. එමෙන්ම, බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ආදායම රුපියල් තුන් ලක්ෂ 75,000 ක් බවද ඔහු සඳහන් කළා.