Gossips

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිර්මාණය කල චන්ද්‍රිකාවක් හෙට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව හෙට අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලූ කටයුතු සූදානම්.
ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිට නාසා ආයතනයට අයත්, අන්තරෙස් රොකට්ටුව ආධාරයෙන් එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබන්නේ සිග්නස් අභ්‍යවකාශ යානය මගින්.
ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඞ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 යි දශම 1 ක බරකින් යුක්ත වනවා.
මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ – වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.
රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.
මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක්.
චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු දුලානි චාමිකා තායිලන්තයේ විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය හදාරා තිබෙනවා.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසු ලබන මැයි මස අවසානයේ හෝ ජූනි මස මුලදී එය කක්ෂ ගත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමෙන් පසු දිනකට වට 15 කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ‍්‍රමණය වන අතර, එහි වේගය තත්ත්පරයට කිලෝමීටර් 7 යි දශම 6 ක් වනවා.
කක්ෂ ගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඇතුළු කරුණු 5ක් මෙම චන්ද්‍රිකාව හරහා සිදුකර ගැනීමට අපේක්ෂා කරන බවයි මෙය නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා ඇමරිකාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.