Gossips

රිය අනතුරුවලට අධික උෂ්ණත්වය බලපා ඇත්දැයි සෞඛ්‍ය අංශ වලට සැක

මේ දිනවල රාත්‍රී කාලයේදී රිය අනතුරු බහුල වීමට හේතුව පවතින අධික උෂ්ණත්වය දැයි සැකයක් මතුවන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.
මේ අතර, මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුරට හේතුව වී ඇත්තේ ද රියදුරුට නින්ද යාම බවට පොලීසිය සැක පළ කළා.
මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම පිරිස නුවරඑළියේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙමින් සිටියදියි අද අලූයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
සිද්ධියෙන් ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ.
එසේම ප්‍රින්ස් හෙඩි‍්‍රක් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.
මීට අමතරව, තවත් දියණියක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජෝෂප් රැලින්ටන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ වෑන් රථයේ තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයෙන් මේ වනවිටත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බස් රථයේ ගමන් කළ හය දෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර ලබන බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ත්‍රිකුණාමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ අතර, වෑන් රථය බදුල්ලේ සිට මහියංගණය දෙසට ධාවනය වෙමින් තිබුණා.
මෙම පෞද්ගලික බස්රථය තේ පානය සඳහා නතර කර යළි ගමන් අරඹනවාත් සමඟ වේගයෙන් පැමිණි වෑන් රථය එහි ගැටුණු බවයි බස් රථයේ මගීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු ඇප මත මුදා හැරීමට අධිකරණය කටයුතු කළා.
මේ අතර, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දහවල් කාලයේ පරිසර උෂ්ණත්වය ඉහළ යාම රිය අනතුරු ඉහළ යාමට හේතුවක් වී ඇති බවයි.
මේ අතර, පසුගිය 13 වැනිදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුල දිවයින පුරා මාරක රිය අනතුරු 31 ක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
එසේම, පසුගිය 11 වනදා සිට අද දිනය තෙක් සිදුකළ වැටලීම් වලදී බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42,114 දෙනෙකුට නඩු පවරා තිබෙනවා.
අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 266 ක්.
එම කාලය තුළදී රථ වාහන නඩු 7134 ක් ලබාගෙන තිබෙනවා.