Gossips

දීමනා ආපසු අයකරගැනීමට එරෙහිව සමෘද්ධි නිලධාරීන් යළි සටනට, රජය සාකච්ඡාවකට සූදානම්

සමෘද්ධි නිලධාරීන්ට ගෙවූ පාරිතෝෂික සහ අර්ථසාධක මුදල් යළි අය කිරීමට එරෙහිව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට පෙර බලධාරීන්ගෙන් සාකච්ඡාවක් අපේක්ෂා කරන බවයි එම සංගමයේ ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර ප්‍රකාශ කළේ.
සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කෙරුණේ 2014 වසරේදියි.
එහිදී අධිකාරියක්ව පැවති සමයේ හිමිවූ අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ලබාගැනීමට සේවකයන්ට අවස්ථාව හිමිවුණා.
සමෘද්ධි නිලධාරීන් 8,000 ක් පමණ එම අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ලබාගනිමින් 2014 වසරේ සිට සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ යළි ස්ථිර රාජ්‍ය සේවයට එක්වුණා.
නව චක්‍රලේඛය මගින් සඳහන් කර ඇත්තේ සමෘද්ධි අධිකාරියේ සිට දෙපාර්තමේන්තුවට එක්වූ නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීමට නම් අධිකාරියක්ව පැවති සමයේ ලබාගත් පාරිතෝෂික සහ අර්ථසාධක යළි රජයට ගෙවිය යුතු බවයි.
කෙසේ වෙතත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධණ හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එලෙස ලබාදුන් පාරිතෝෂික හා සේවක අර්ථසාධක මුදල් යළි ඉල්ලීම අසාධාරණ බවයි.
නීතිමය ගැටළුවක් මත යම් අය කිරීමක් සිදු කරන්නේ නම් දීර්ඝ සහන කාලයක් ඒ සඳහා ලබාදිය යුතු බවද එම සංගමය සඳහන් කළා.
කෙසේ වෙතත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ පාරිතෝශික ලබාගත් නිලධාරීන්ට සිය දෙපාර්තමේන්තුව යටතේ කිසිදු අයුරකින් විශ්‍රාම වැටුපක් ලබාදිය නොහැකි බවයි.
එසේ ලබාදෙන්නේ නම් ලබාගත් දීමනා යළි රජයට ගෙවීම නීත්‍යානුකූලව සිදුකළ යුත්තක් බවද සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ප්‍රියන්ත බණ්ඩාර සඳහන් කළා.
කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවක සාකච්ඡාවකට සූදානම් බවයි සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් විමසීමට අප විෂයභාර අමාත්‍ය දයා ගමගේ සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු විදේශගතව සිටීම හේතුවෙන්.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙන් කළ විමසීමකදී මෙම ගැටළුව පිළිබඳව තමන් දැනුම්වත් වී නොමැති බව සඳහන් කළා.