Gossips

අද උදෑසනම 10 දෙනෙකුට මරු කැඳවූ මහියංගනයේ වෑන් රථ සහ බස් රථ අනතුර (ඡායාරූප)

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු, කාන්තාවන් තුන්දෙනෙකු සහ කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මියගිය සහ තුවාල ලැබූ පිරිස වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් වන අතර ඔවුන් මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පොලීසිය ප්‍රකාශ කළේ බදුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මේ අතර දඹුල්ල – කණ්ඩලම මාර්ගයේදී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ දියණිය සහ පුතු මියගොස් පියා තුවාල ලැබුවා.
අනතුරෙන් මවට හානියක් සිදුවී නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගිය තරුණියගේ වයස අවුරුදු 22 ක් වන අතර, ඇගේ සොහොයුරාගේ වයස අවුරුදු හතරහමාරක්. ඔවුන් දඹුල්ල – නිකවටවල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෘත ශරීරය දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
එමෙන්ම මුලතිව් – නැදුන්කර්නි මාර්ගයේ වට්ටාපලෙයි ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් යුද හමුදා මුරපොලකට කඩාවැදීමෙන් එහි සිටි හමුදා සෙබලෙකු මියගොස් තවත් සෙබලෙකු තුවාල ලබා තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ලොරි රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
(ඡායාරූප – බදුල්ල, පාලිත ආරියවංශ)