Gossips

ගින්නෙන් දැවුණු ‘‘නොට්රඩාම්’’ දේවස්ථානය ගොඩනගන්න ලොව ප්‍රකට ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉදිරිපත් වෙයි

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ‘‘නොට්රඩාම්’’ දේවස්ථානයේ ඇති වූ ගින්න ලොව පුරා ජනතාව අද ශෝකයට පත් කළා.
ලොව සියලූ මාධ්‍යවල වැඩි ඉඩක් එම සිද්ධිය වෙනුවෙන් වෙන් වීම ද විශේෂත්වයක්.
මේ අතර, ගින්නෙන් හානි වූ ප්‍රංශයේ ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සදහා යූරෝ මිලියන 300 ක් එනම්, රුපියල් කෝටි 6,000 කට ආසන්න මුදලක් පරිත්‍යාග කිරීමට ලොව ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු දැනටමත් කැමැත්ත පළ කර තිබෙනවා.
ඉන් යූරෝ මිලියන 200 ක මුදලක් ලොව ප්‍රකට ලූවී විටෝ, විලාසිතා සන්නාමයේ හිමිකරු වන බර්නාඞ් ආර්නෝල්ඞ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ලබාදීමට එකගතාවය පළ කර ඇති බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ.
ඉතිරි යූරෝ මිලියන 100 ක මුදල, පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී ඇත්තේ ලොව ප්‍රකට ගුචී විලාසිතා සන්නාමය හිමි ෆ‍්‍රන්ෂුවා හෙන්රි පිනෝල්ඞ් විසින්.
දේවස්ථානයේ ඇති වූ ගින්නෙන් පසු, මාධ්‍ය වෙත ප්‍රතිඥාවක් ලබාදෙමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කියා සිටියේ ගොඩනැගිල්ලේ විනාශ වූ කොටස් යළි ඒ ආකාරයෙන්ම ගොඩනගන බවයි.
වසර 850 ක් පමණ පැරණි ගොතික්, ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගත් විශාලම දේවස්ථානය වන මෙහි ගින්න හට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ගින්න දේවස්ථානයෙන් වහලය කරා ව්‍යාප්ත වී අසල තිබූ වීදුරු ජනේල සහ දැවමය භාණ්ඩ විනාශ කරමින් මුදුනත පිහිටි පිරමීඩාකාර කොටසට ද පැතිර ගියා.
ගොඩනැගිල්ලේ ප්‍රධාන කුළුණු දෙක ඇතුළු ශෛලමය සැකිල්ල ආරක්ෂා කර ගැනීමට පැය 9 ක් පුරා දැරූ උත්සාහයකින් අනතුරුව, ගිනි නිවන භටයින් සමත්වූ නමුත්, වහළය සහ මුදුනත පිහිටි පිරමීඩාකාර කොටස ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබූ ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේදී හිස පැළඳි කටු ඔටුන්න බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවන භටයින් සමත් වුණා.
ගින්නට හේතුව ප්‍රංශ බලධාරින් විසින් මෙතෙක් හෙළි කර නොමැති අතර, දේවස්ථානයේ සිදුකරමින් පැවති ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර එය සිදුවූ බවට සැකකෙරෙනවා.
ක්‍රිස්තු වර්ෂ 1160 ඉදිකිරීම් ආරම්භ කළ මෙම දෙව් මැදුර ක්‍රිස්තු වර්ෂ 1260 දී ඉදිකර අවසන් කෙරුණා. ලොව ප්‍රකට ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ විසින් රචිත හන්ච් බැක් ඔෆ් නොට්රඩාම් කෘතිය හේතුවෙන් කන්‍ය මව්තුමිය යන අර්ථය ඇති ‘‘නොට්රඩාම්’’ යන නාමය මෙම දෙව් මැදුරට ලැබී තිබෙනවා.
ප්‍රංශ විප්ලව සමයේදී මෙහි තිබූ ප්‍රතිමා සහ කලාකෘති රැසක් විනාශයට පත්වුණා. ක්‍රිස්තු වර්ෂ 1804 දී එවකට ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට්ගේ රාජාභිෂේකය පවත්වනු ලැබුවේ ද මෙම ගොඩනැගිල්ල තුලයි.
දෙවන ලෝක යුද සමයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආඥා දායකත්වයට නතුව තිබූ පැරීසිය යළි නිදහස් කර ගැනීමෙන් පසු සැමරුම් උළෙල පවත්වා ඇත්තේ ද මෙම දෙව්මැදුර තුල වීම විශේෂත්වයක්.
මෙම දෙව් මැදුරේ කලාත්මක ගුණය වඩා ඔප් නංවන නිර්මාණයක් වන්නේ දෙව් මැදුරේ මධ්‍ය දොරටුවට ඉහළින් ඇති වෘත්තාකාර රෝස පැහැති ජනේලය සහ දෙව් මැදුරේ බිත්තිය පුරා නිර්මාණය කර ඇති වීදුරු කැටයම්. කෙසේ වෙතත්, ගින්නෙන් ඒවාට හානි සිදුවී තිබෙනවා.
කෙසේ වෙතත්, වසර 850 ක් පැරණි මධ්‍යතන යුගයට අයත් ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ඨ නිර්මාණයක් වන මෙම දෙව් මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ සේප්පුවේ තිබූ ඉපැරණි කටු ඔටුන්න ඇතුළු පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළේ.