Gossips

ප්‍රදේශ රැසකට වැසි – අකුණු අනතුරු ගැන අවධානයෙන්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද පෙරවරු 08.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය පේරාදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර 40 ක්.
වැසි ඇති වනවිට තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, බෙදා හැරීමේ විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් බිද වැටුණු විදුලිබල සැපයුම ඇතැම් ප්‍රදේශවල තවමත් යථා තත්ත්වයට පත්කර නොමැති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
අද පස්වරුව වනවිට එම විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සියළු පියවර ගෙන ඇති බවයි අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
වර්ෂාවත් සමඟ ඊයේ පස්වරුවේ ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් මතට ගස් කඩා වැටී තිබුණා.
මේ හේතුවෙන් කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය, පාදුක්ක, හොරණ, අවිස්සාවේල්ල සහ මීපේ යන ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වීම් සිදු වූ අතර, ඇතැම් ප්‍රදේශවලට මේ වනවිටත් විදුලිබලය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අධිසැර රැහැන් මාර්ග නඩත්තුව අවසන් කර ඇති බැවින් අඩුසැර රැහැන් මාර්ග නඩත්තුව මේ වනවිට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියා.