Gossips

ප්‍රදේශ රැසක, පානීය ජල අර්බුදයක්

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද බහුතර ජනතාව උත්සවාකාරයෙන් සැමරුවත් ප්‍රදේශ රැසක ජනතාව පානීය ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඔවුන් චෝදනා කරන්නේ අලූත් අවුරුද්ද උදා වූ ඊයේ දිනයේ නැකත් අනුව චාරිත්‍ර ඉටු කිරීමට හෝ තමන්ට නිසි පරිදි ජලය නොලැබුණු බවයි.
ඒ අනුව, අම්බලන්තොට – පලූගස්ගොඩැල්ල ගම්මානයට මසකට ආසන්න කාලයක් ජල සැපයුම අඩාල වී තිබෙනවා.
එම ගම්මානයේ ජිවත් වන ජනතාව තම දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකිව පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.
ඇතැම් දිනවලදී රාත්‍රී කාලයේ අඩු පීඩනයකින් ජලය ලැබුණ ද මසකට අධික කාලයක් පුරා දහවල් කාලයේ ජලය නොලැබෙන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.
මේ අතර, කළු ගගට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශවල ජනතාව ද පානීය ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ 44,065 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
එසේම හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ බොහෝ ප්‍රදේශවලට උස් ස්ථානවලට ජලය නොලැබෙන තත්ත්වයක් මේ වනවිට පවතින බවයි.