Gossips

අයි.එස්. යුරෝපයේ ප්‍රහාර රැසකට සැරසෙන බවට තොරතුරු

අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යුරෝපය පුරා නව ප්‍රහාර රැසක් සැලසුම් කරන බවට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ පුවත්පතක් අනාවරණ කළා.
බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පත සඳහන් කළ පරිදි පුද්ගලයින් 130 දෙනෙකුට මරු කැඳවමින් පැරීසියට එල්ල කළ ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාර ඔවුන් මෙලෙස සැලසුම් කරන බව සඳහන්.
යුරෝපයේ මෙන්ම මැද පෙරදිග බටහිර මිතුරු රටවලද මෙවැනි ප්‍රහාර දියත් කිරීම අයි.එස්. සංවිධානයේ අරමුණයි.
සිරියාවේ අයි.එස්. බලකොටු මුලිනුපුටා දැමුවද ඔවුන් තවදුරටත් ජාත්‍යන්තර ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි බ්‍රිතාන්‍ය පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
සිය සාමාජිකයින් දේශ සීමා හරහා යොදවමින් බැංකු කොල්ලකෑම්, වාහනවලින් ජනතාවට විපත් සිදුකිරීම, පුද්ගල ඝාතන මෙන්ම පරිගණකවලට අනවසරයෙන් පිවිසීම වැනි සැලසුම් අයි.එස්. සංවිධානය සකස් කර ඇති බව සඳහන්.
අදාළ සැලසුම්වලට අයි.එස්. සංවිධානයේ නායකයන් 06 දෙනෙකු අත්සන් තබා ඇති අතර, එය අයි.එස්. ප්‍රධානියා වන අබූ බකර් අල් බග්ඩාඩි වෙත යවා ඇති බව ටයිම්ස් පුවත්පත සඳහන් කළා.