Gossips

මදුරුවන් බෝවන බවට චෝදනා එල්ල වු පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි

ගාල්ල – කරාපිටිය – ගලගෙඩිය ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් අද එම ප්‍රදේශයේ ශ්‍රමදානයක් සිදුකෙරුණා.
මේ අතර ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථානයක් ලෙසට චෝදනා එල්ල වුණු එම ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් ගොඩනැගිලේ ඉදිකිරීම් කටයුතු මසක කාලයක් අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාව එහි හිමිකරුට අද දැනුම් දී තිබෙනවා.
ගාල්ල – කරාපිටිය ගලගෙඩිය ප්‍රදේශවාසීන් ඊයේ දහවල් ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණේ ඩෙංගු රෝගයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින්.
මෙහිදී විරෝධතාකරුවන් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින පෞද්ගලික රෝහලකට විරෝධය පළ කළේ එම වැඩබිමේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් පවතින බවට චෝදනා කරමින්.
කෙසේ වෙතත් මෙම සිද්ධිය මුල්කරගනිමින් අද ආගමික නායකයින්, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සාකච්ඡා කර ගාල්ල – කරාපිටිය – ගලගෙඩිය අවට ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කර පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක නිරතවුණා.
මේ අතර මදුරුවන් බෝවෙන ස්ථානයක් ලෙසට චෝදනා එල්ල වුණු පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අද දින සිට අත්හිටුවීමට ගාල්ල මහනගර සභාව දැනුම් දී තිබෙනවා.