Gossips

මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි – පාතාලයේ චිත්තාත් අල්ලයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි 1000කට වැඩි මූල්‍යමය සහ දේපළ වත්කම් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මාර්තු 5 වන දා පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ සමීපතමයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්කුඩු ජාවාරම වන අතර, ඔහු ඉන් ලබා ගත් මුදල් තම ඥාතීන්ගේ නමින් විවිධ ආයෝජනයන් සඳහා යොදවා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
පෙබරවාරි මස 05 වනදා ඩුබායි හි සංවිධාන කර තිබූ උපන් දින සාදයක් අතරතුර පාතාල නායක මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 15 දෙනෙකු පසුව ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.
ඉන් මෙරටට පිටුවහල් කරනු ලැබූ රංගන ශිල්පී රයන් වැන්රූයන්, හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, පාතාල නායක කංජිපානි ඉම්රාන් මෙන්ම පාතාල සාමාජිකයින් වන අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඔහු විසින් එරට අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර එය ලබන 18 වන දා කැදවීමට නියමිතයි.
මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි හි නීති කටයුතු අවසන් වූ සැණින් පිටුවහල් කරන බවට එරට රජය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසට පොරොන්දු වී ඇතැයි පසුගියදා වාර්තා වුණා.
මෙම ක්‍රියාවලියේදී මධුෂ් විසින් එරට අධිකරණයකට ගොනු කර ඇති පිටුවහල් නොකිරීමේ අභියෝගය සැලකිල්ලට නොගනු ඇති බවටද එම වාර්තා වල තවදුරටත් සඳහන් වුණා.
පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ මධුෂ් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබූ අතර එහිදී එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඞ් හමුවූ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ලිපියක් ද එරට ජනාධිපති ෂෙයික් ඛලීෆා බින් සෙයිඞ් කුමරු වෙත ලබාදීම සඳහා ද භාර දී තිබුණා.
මාකඳුරේ මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් ඥාතීන් කිහිප දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඔවුන් සතු රථ වාහන කිහිපයක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.
කෝටි 700යේ මැණික් සහ දියමන්තිය සොරා ගැනීමේ සිද්ධියට දැනට අත්අඩංගුවට ගෙන සිටින කැවුමාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ මාකදුරේ මධුෂ් මෙරට ප්‍රබල දේශපාලනඥයන් සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සබදතා පවත්වා ඇති බවයි.
ඒ අනුව මාකඳුරේ මධුෂ් ලබන 18 වන දායින් පසුව ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළහොත් එම සියළු තොරතුරු අනාවරණ වේ යැයි බියෙන් එම දේශපාලනඥයින් සහ පොලිස් නිලධාරීන් යම් තැති ගැන්මකින් සිටින බව ද වාර්තා වනවා.
මේ අතර, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් සමඟ අවි ජාවාරමක නිරත වූ පාතාල සාමාජිකයෙකු වන විත්තා නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු 2017 වසරේ කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා ඝාතනය කරනු ලැබූ පාතාල නායක අරුණ දමිත් උදයංග හෙවත් සමයංගේ ගෝලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
මොහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සමයං ඝාතනයට ලක්වූයේ මාකඳුරේ මධුෂ්ගේ සැලැස්මකට අනුවයි.