Gossips

ජනපති කොමිසමට සාක්ෂි දුන්, වෛද්‍යවරියකට තර්ජන

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් වෛද්‍යවරියකට එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තර්ජන කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව 2015 – 2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුවූ වංචා දූෂණ ගැන සොයන ජනාධිපති කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
මෙම තර්ජනය කිරීමට අදාළ වෙනම පැමිණිල්ලක් අද කොමිසමේ පොලිස් ඒකකයට ඉදිරිපත් වී තිබෙනවා.
කොමිසම සඳහන් කළේ කිසියම් සාක්ෂිකරුවෙකුට බලපෑම් සහ තර්ජන එල්ල කරන ඕනෑම පාර්ශවයකට නීතිය ක්‍රියාත්මක කිරීමට කොමිසමේ බලතල අනුව පියවර ගන්නා බවයි.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂවරයා සිදුකළ බව කියන වංචා සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී තිබුණේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවයි.
එසේම ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර ද අද පැය 5ක් පමණ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.
මීට පෙර ද කිරි ගවයන් ආනයනය කිරීමේ දී සිදුවූ බව කියන වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීමක් පිළිබදව කොමිසම පරීක්ෂණ ආරම්භ කළා.