Gossips

ශ්‍රී ලංකා හමුදාවේ 15 දෙනෙකු ඝාතනය කළ, කොටි සාමාජිකයෙකුට ජර්මනියෙන් නඩු

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඝාතනය කළ බවට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට එරෙහිව ජර්මානු බලධාරීන් විසින් චෝදනා ගොනු කර තිබෙනවා.
යුද අපරාධ සිදුකිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීම ඇතුළු තවත් අපරාධ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2008 වසරේදී එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු වූ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ සිරුරු මොහු විසින් පුළුස්සා දමා ඇති බව ජර්මානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව තවත් සිදුවීමකදී ඔහු විසින් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකුට වෙඩි තබා ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට ද හෙළි වී තිබීම විශේෂත්වයක්.
37 හැවිරිදි බී. සිවදීපන් නැමැති මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදියි.
ඉන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලින් පසු ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජර්මානු බලධාරීන් කටයුතු කළා.