Gossips

Update : ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු සාර්ථකව අවසන් කළා – හිටපු ආරක්ෂක ලේකම්

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු සාර්ථකව අවසන් කළ බව දිවයිනට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
Update : Friday, April 12, 2019,10:50 AM
———————————————–
ඇමරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණියා.
අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු ගමන වැඩි කතාබහට ලක් වූයේ ඔහුට එරට අධිකරණයක නඩු ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟයි.
සංචාරය අතරතුර හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් හමු වී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.
කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ ඔහු ඇමරිකාවේ සංචාරය කරන අතරතුර ඇමරිකාවේ අධිකරණවල ඔහුට එරෙහිව නඩු පැවරූ බවට පළ වූ වාර්තාත් සමඟයි.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බවට පසුගිය සඳුඳා තොරතුරු වාර්තා වුණා.
ඒ, තම පියාගේ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම හා උපදෙස් මත සිදුව ඇති බවට පවසමින්.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය එදින කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග සඳහන් කළේ තමන්ට මේ පිළිබඳව කරුණු තහවුරු කළ නොහැකි බවයි.
එමෙන්ම දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2007 වසරේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකු වධ හිංසාවට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම එම නඩුවට අදාළ සිතාසිය ඇමරිකාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත භාර දුන් බවට ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සඳහන් කළා.