Gossips

ජනපති ඔමාර් අල් බෂීර් ධූරයෙන් පහකොට සුඩාන හමුදාව රාජ්‍ය බලය අල්ලයි

වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර එරට හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් ප්‍රකාශ කර ඇත්තේ කාර්තුම් අගනුවර පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ඔහු මේ වනවිට ආරක්ෂා සහිතව සිටින බවයි.
හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවද ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම රට තුල මාස තුනක කාලයක් හදිසි නීතිය බල පැවැත්වෙන බවද ඔහු රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියා. මෙම තත්ත්වය හමුවේ සුඩානය තුල ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට විරෝධය පළ කරමින් ජනතාව වීදි බැස ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උද්ඝෝෂකයන් එරට හමුදා මූලස්ථානය ඉදිරිපිට වාඩි වී සිටින බවද වාර්තා වනවා.
ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගෙන හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසුව එරට ව්‍යවස්ථාවද අත්හිටුවා ඇති අතර ගුවන් ගමන් පැය 24කට අත්හිටුවා තිබෙනවා.
1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර්ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂන පැවතුණා.
ඊට ප්‍රධාන හේතුව වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්ධන සහ පාන් මිල වැඩි කරන බව රජය නිවේදනය කිරීමෙන් පසුවයි.