Gossips

මධූෂ්ගේ සාදයට ගිය රයන් මාධ්‍යයේ සහය ඉල්ලයි

තමාට අසාධාරණයක් සිදුව ඇති බව පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන අවස්ථාවේදීයී.
මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල හමුවට රංගන ශිල්පී රයන් වැන්රූයන් අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලිසියට භාර දෙනු ලැබූ රංගන ශිල්පී රයන් වැන්රූයන්ට ගංජා ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනා එල්ල වුණා.
පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි මොහු පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 04 වනදායි.
කෙසේ වෙතත්, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේදී ඔහු කියා සිටියේ ගංජා ප්‍රවාහනය සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි.
මෙම සිදුවීමේදී මාධ්‍යයේ සහය තමාට ලබාදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.
එමෙන්ම, පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී ඩුබායි බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගාද අද යළි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහු යළි මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, එදිනට ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.