Gossips

ආනයනික පළතුරුවල පලිබෝධනාශක සංඝටක ඇති බවට වාර්තා වී නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

ආනයනය කෙරෙන පළතුරු වර්ගවල පලිබෝධනාශක සංඝටක ඇති බවට මෙතෙක් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය වෘත්තිය ආහාර සුරක්ෂිතතා ඒකකය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් දැනට වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල පරීක්ෂා කළ සාම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රකාශ කළා.
එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාවේ දැක්වෙන්නේ වෙළඳපොලේ දැනට පවතින ආනයනික පළතුරුවල අඩංගු පලිබෝධනාශක සංඝටක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම දිස්ත්‍රික්කයකම පරීක්ෂණ සිදුකර ඇති බවයි.
එම සාම්පලවල තහනම් කරන ලද පලිබෝධ නාශක සංඝටක අඩංගු වූ බව ද පෙන්වා දෙන අදාළ වාර්තාව ආනයනික පළතුරු තොග සාම්පලවල පලිබෝධ නාශක ශේෂ සංඝටක හමුවූ බවද ප්‍රකාශ කළා.
මෙම පලිබෝධනාශක සංඝටක, පරීක්ෂා කරන ලද පලතුරුවල අන්තර්ගත වූයේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, එම පලිබෝධනාශක ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති හෙයින් සුළු ප්‍රමාණවලින් හෝ ආහාරවල අන්තර්ගත විය නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් කැඳවීමටද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නියෝග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මෙලෙස ආනයනික පළතුරුවල තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බව මීට පෙර ප්‍රකාශ කළ බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය වෘත්තිය ආහාර සුරක්ෂිතතා ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල කියා සිටියේ 2018 වාර්තාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක ආනයනික පළතුරුවල අඩංගු නොමැති බවට තොරතුරු අනාවරණ වූ බවයි.
මේ අතර පලතුරු ආනයනකරුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පලතුරුවල පලිබෝධනාශක සංඝටක අඩංගු බවට කිසිවෙකු දැනුම්වත් කර නොමැති බවයි.