Gossips

රංගන ශිල්පී රයන් සහ රොටුඹ අමිල යළි රිමාන්ඩ්

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් මේ මස 25 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලිසියට භාර දෙනු ලැබූ රංගන ශිල්පී රයන් වැන්රූයන්ට ගංජා සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනා එල්ල වනවා.
පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි මොහු පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 04 වනදායි.
ඉන් අනතුරුව ඔහුව සිය භාරයට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 18කට අධික කාලයක් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.
ඒ ඔහු ඩුබායි අත්අඩංගුවට ගැනීමට පෙර මෙරටදී භාවිත කළ බව කියන මෝටර් රථයක තිබී ගංජා හමුවීමේ සිද්ධියකට අදාලවයි.
එම මෝටර් රථය හමුවුණේ පාතාල සාමාජිකයෙකු වන සන්ෂයින් සුද්දාට අයත් මාතර මිරිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබියදීයි.
එමෙන්ම පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මේ අතර රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත යාත්‍රාවක් සමඟ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, එම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම රුපියල් මිලියන 277ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ බෝට්ටුහිිමියා ඇතුළු 08 දෙනා ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එහිදී විනිසුරුවරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේ මෙම සිද්ධියේ රස පරීක්ෂක වාර්තා සහ දුරකතන විශ්ලේෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.