Gossips

පළාත් කිහිපයකට අදත් ගිඟුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක අද (11) පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි අතර එම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්ත්වයන් ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින අතර අද (11) දහවල් 12.10 ට වනාතවිල්ලුව, ඔත්තප්පුව, සියඹලාගස්වැව, කට්ටමුරිච්චාන, රබෑව සහ මීගස්වැවයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.