Gossips

දුම්රිය වර්ජනය තාවකාලිකව නවතී – බස් රථ සේවකයන් ජනපතිට ලියයි

දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුලූ දුම්රිය බලධාරින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කළා.
බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ. මීට පෙර අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
ඒ, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. මේ අතර, හඳුන්වා දීමට නියමිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව එම සංගමය ප්‍රකාශ කළා.
ඊට අදාළව අද පස්වරුවේ ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්වත් කිරීමටද පියවර ගත් බවයි එම සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමය දායකත්වය ලබා නොදෙන බවි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.
මේ අතර වර්ජනය ක්‍රියාත්මක කරන සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේම බස් වෘත්තිය සමිතිවලින් මෙම වර්ජනයට දැඩි විරෝධයක් එල්ල වනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් සේවක වර්ජනයට සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයද විරෝධය පළ කරනවා.