Gossips

නාලක ද සිල්වාට එරෙහි සාක්ෂි විනාශ කිරීමේ සැළැස්මක් ගැන නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු හෙලි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද රහස් පොලිසියට නියෝග කළා.
ඒ එම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
මෙහිදී නාමල් කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න කරුණු දක්වමින් කියා සිටියේ එවැනි බරපතල සිද්ධියක් පිළිබඳ තම සේවාදායකයා විසින් අනාවරණ කිරීම හේතුවෙන් ඔහුගේ ජීවිතයට බලවත් තර්ජන එල්ල වී ඇති බවයි.
පාතාල සාමාජිකයින්ගෙන්, පොලිස් නිලධාරින්ගෙන් මෙන්ම, දේශපාලනඥයින්ගෙන් ද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව එහිදී ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.
එම අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ද නීතිඥ අජිත් ප්‍රසන්න කළ කරුණු දැක්වීම සනාථ කරනු ලැබුවා.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් තමන් ද එකඟ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් කුමාරට ආරක්ෂාව ලබාදෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව ඉදිරිපත් වී ඇති පරිවේෂණීය සාක්ෂි සම්බන්ධ වාර්තාවක් මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඔවුන්ට නියෝග කළා.
මෙහිදී නාලක ද සිල්වා සම්බන්ධයෙන් අනාවරණ කරගෙන ඇති සාක්ෂි සවිස්තරව අධිකරණයට අනාවරණ නොකළේ ඒවා විනාශ කිරීමේ සැලැස්මක් ඇති බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් බව මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන ඉතා සංකීර්ණ බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම කුමන්ත්‍රණයට පාර්ශව රැසක සබඳතා පවතින බව ප්‍රකාශ කළා.
ඉන් එක් පාර්ශවයක් ලෙස සැලකෙන පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධූෂ් සති දෙකක කාලයක් තුළ මෙරටට පිටුවහල් කර ගැනීමට ශ්‍රී ලංකා රජය ඩුබායි රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටින බවත්, මෙහිදී ඔහු පෙන්වා දුන්නා.
සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා 2010 – 2017 යන කාලය තුලදී නිල සහ නොවන ලෙස විදේශ ගත වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව ද මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීම විශේෂත්වයක්.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස විදේශ ගත වී ඇත්තේ කා සමඟ ද කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශන සිදුකෙරෙන බවයි එහිදී එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට ප්‍රකාශ කළේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නීතිඥවරුන් සැකකරු කොන්දේසි සහිතව බැඳුම්කරයක් මත මුදා හරින ලෙස ඉල්ලීමක් කර ඇත්තේ මහාධිකරණය ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව වසන් කරමින් බව ද ඔහු අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හමුදා සේවය හැර ගොස් සිටින්නෙකු බව විමර්ශන නිලධාරින් විසින්ම අධිකරණයට දැනුම් දී ඇති නමුත් ඔහුට විරුද්ධව ගත් නීතිමය පියවර කුමක්දැයි මෙහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළා.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයට ප්‍රථමයෙන් අනාවරණ කළ මුල් පැමිණිලිකරු වන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඊට සුදුසු නීතිමය පියවර ගන්නා බවයි නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ.
එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ‘‘පණිවුඩකරු ගස් බැදීමට ප්‍රථමයෙන්’’ ඔහු අනාවරණ කළ ඉතා බරපතල කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා.