Gossips

වර්ජනයට සැරසෙන දුම්රිය වෘත්තීය සමිති වලට සාකච්ඡාවක් – සේවක වර්ජනයට බස් රථ හිමියන් නැහැ

අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති දුම්රිය වෘත්තීය සමිතිවලට විෂය භාර අමාත්‍යවරයා විසින් අද පස්වරුවේ සාකච්ඡාවක් ලබාදී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදුකරන මෙම වර්ජනයට අදාළව මෙතෙක් කිසිදු වගකිව යුතු පාර්ශවයක් තමන්ට සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි.
මේ අතර, හඳුන්වා දීමට නියමිත නව දඩ මුදල් ක්‍රමයට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව එම සංගමය පවසනවා.
එහි ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමය දායකත්වය ලබා නොදෙන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම, සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ එළඹෙන සිංහල අලූත් අවුරුද්දෙන් පසු වර්ජනයක නිරතවීමට තම සංගමය ද සූදානමින් පසුවන බවයි.
කෙසේ වෙතත්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ දුම්රිය සහ බස් සේවක සංගම් සිදුකිරීමට නියමිත මෙම වර්ජනය අසාධාරණ බවයි.
මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි කියා සිටියේ ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.