Gossips

ජවිපෙට පළාත් පාලන පුටු 300 ක් අහිමි වීමේ අවදානමක්

පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභික සංඛ්‍යාව ගණනය කළහොත්, සෑම පක්ෂයකටම දැනට හිමිව තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අනුව වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් අහිමි වන්නේ ජනතා විමුක්ති පෙරමුණට බවයි.
ඔවුන්ට මන්ත්‍රී ධුර 300 ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 140 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර 40 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 8 ක් අහිමි වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
පළාත් පාලන පනතේ ප්‍රතිපාදන ඉක්මවා මැතිවරණ කොමිසම සභිකයින් පත් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බව ද ඔහු කියා සිටියා.
ඒකාබද්ධ විපක්ෂයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් ද විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ පනතේ කිසිදු ගැටලූවක් නොමැති බවත්, ඇතමුන් ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළ කරන බවයි.
මේ අතර, පළාත් පාලන ඡන්ද විමසිමේ සියයට 25 ක කාන්තා නියෝජනය පිළිබඳ සාකච්ඡාවක් ද අද(02) මැතිවරණ කොමිසමේදී පැවැත්වෙනවා.
ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ කාන්තා මාධ්‍ය එකමුතුව මෙන්ම සිවිල් සංවිධාන සාමාජිකයන් ද එක්වීමට නියමිත බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.